ප්‍රකාශනය: මුස්ලිම් මන්ත්‍රීවරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ (MMDA) ප්‍රතිසංස්කරණ පාවා දෙති: ශ්‍රී ලාංකීය මුස්ලිම් කාන්තාවන් සඳහා යුක්තිය තර්ජනයට ලක් වෙයි.

2023 ජූනි 8 දිනැති ලිපියක් මගින් මුස්ලිම් මන්ත්‍රීවරුන් 18 දෙනෙකු විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත MMDA ප්‍රතිසංස්කරණ පිළිබඳ කෙටුම්පතට ප්‍රතිචාර වශයෙන් නිර්දේශ ඉදිරිපත් කරන ලදී. MMDA ප්‍රතිසංස්කරණ පිළිබඳ 2021 උපදේශක කමිටුවේ මෑත වාර්තාව මත පදනම්ව අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතෙහි පිළිබිඹු වන සියලුම ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණවලට මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ නිශ්චිතවම විරුද්ධ වේ. විනිසුරු සලීම් මර්සූෆ්ගේ ප්‍රධානත්වයෙන් පෙර 2009 කමිටුවේ සියලුම සාමාජිකයින් විසින් ඒකමතිකව එකඟ වූ ප්‍රගතිශීලී තනතුරු පවා ඔවුහු ප්‍රතික්ෂේප කරති. 

මන්ත්‍රීවරුන්ගේ ලිපියට අත්සන් තබා ඇත්තේ ඒ එච් එම් ෆවුසි, රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්*, ඒ එල් එම් අතාවුල්ලා, නසීර් අහමඩ්, එම් එස් තවුෆීක්, ඉෂාක් රහුමාන්, ඉමිටියාස් බාකීර් මාකර්, එස් එම් මරික්කාර්, මර්ජන් ෆලීල්, ඒ එච් එම් අබ්දුල් හලීම්, කේ කාදර් මස්තාන්, එස් එම් එම් මුෂාරෆ්, ෆයිසාල් කාසිම්, අලි සබ්රි රහීම්, ඉම්රාන් මහරූෆ් සහ එම් මුසාමිල් යන අයයි. 

මන්ත්‍රී යෝජනා කිසිදු ප්‍රතිසංස්කරණයකට සහාය නොදෙයි.

මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ MMDA වෙත ප්‍රතිසංස්කරණ පිළිබඳ පුදුමාකාර ලෙස පසුගාමී ආස්ථානයන් ගනී. එයට පහත වඩාත්ම භයානක නිර්දේශ සමහරක් ද ඇතුළත් වේ:

1. කාන්තාවන්ගේ ස්වාධීනත්වය ප්‍රතික්ෂේප කරමින්, විවාහ ලේඛනයේ මනාලියගේ අත්සන පිරිමි භාරකරුවෙකුගේ අත්සන නොමැතිව වටිනාකමක් නොමැති බව. 

2. පිරිමි රෙජිස්ට්‍රාර්වරුන් පමණක් සිටින MMDA යටතේ රජයේ නිලතල දැරීමෙන් මුස්ලිම් කාන්තාවන් දිගින් දිගටම බැහැර කරනු ලැබේ. කාන්තා කාති (විනිසුරුවරුන්) ඇතුළත් කිරීම නිශ්චිතව දක්වා නොමැත.

3. කාතිවරුන් පත්කිරීමේ නිර්ණායක සහ ක්‍රියාවලිය ඇතුළුව, කිසිදු වෙනසක් නොමැතිව කාති ක්‍රමය පවත්වාගෙන යාම.

4. වයස අවුරුදු 18 ට අඩු අයට විවාහ වීමට අවසර දීම සඳහා අවම විවාහ වයස සඳහා ව්‍යතිරේඛ.

5. සමාන දික්කසාද ක්‍රියා පටිපාටි ප්‍රතික්ෂේප කිරීම සහ දැනට පවතින ඉතා වෙනස් කොට සලකන දික්කසාද ක්‍රමය සහ ක්‍රියා පටිපාටි දිගටම පවත්වා ගැනීම.

6. විවාහ දේපළ බෙදාගැනීම සහ දරුවන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා නව ප්‍රතිපාදන (කෙටුම්පතේ හඳුන්වා දී ඇත) ප්‍රතික්ෂේප කිරීම.

7. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ විවිධ නිකායන් සහ මධබ් (නීති විද්‍යාව පිළිබඳ පාසල්) අතර වෙනස්කම් පවත්වා ගැනීම.

පුළුල් සමාජය තුළ කතිකාවත්, වඩාත් නිශ්චිතව අධිකරණ අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද විධිමත් නෛතික ක්‍රියාවලියත් යන දෙඅංශයෙන්ම මෑත වසරවල ඇති වූ ප්‍රගතිය, මෙම ආස්ථානයන් සෘජුවම ඉක්මවා යයි 

මූලධර්ම නොමැති දේශපාලනය: මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ආස්ථානයන්වල අනුකූලතාවක් නොමැතිකම

2019 ජූලි 11 වැනි දින පාර්ලිමේන්තුවේදී මුස්ලිම් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ව්‍යතිරේකයකින් තොරව විවාහ වීමේ අවම වයස අවුරුදු 18 බවට එකඟ වූ නමුත්, ඔවුන්ගේ මෑත ලිපියේ ප්‍රකාශිත මන්ත්‍රීවරුන්ගේ අදහස් එම මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු විසින් ප්‍රසිද්ධියේ ගත් ස්ථාවරයට සෘජුවම පටහැනිය. කාති සහ විවාහ රෙජිස්ට්‍රාර් තනතුරු මුස්ලිම් කාන්තාවන්ට විවෘත බව; නඩත්තුව නිත්‍ය අධිකරණ විසින් තීරණය කළ යුතු බව; සහ කාති තනතුර සඳහා නීතිඥවරයෙකුගේ අවම වෘත්තීය සුදුසුකම් තිබිය යුතු බව එකී පෙර එකඟ වූ නිර්දේශ වෙයි. 

2022 නොවැම්බර් 18 වැනි දින අධිකරණ අමාත්‍යාංශයට සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) ඇතුළු ප්‍රධාන වශයෙන් පිරිමි මුස්ලිම් සිවිල් සමාජ සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද තනතුරු සඳහා මුස්ලිම් මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ ලබා දුන් අනුමැතියටද මෙම නව නිර්දේශයන් පටහැනි වේ. එනම්, විවාහ වන වයස අවුරුදු 18 ක් විය හැකි අතර, කාන්තාවන් කාතිවරුන් ලෙස පත් කළ හැකි බව, වලිගේ (භාරකරුගේ) අත්සන විකල්පමය විය හැකි අතර, වාලි අත්සන් නොකළ පමණින් විවාහය අවලංගු නොවීම සහ කාතිවරයකුට අවම වශයෙන් නීතීඥවරයකුගේ සුදුසුකම් තිබිය යුතුය යනාදියයි.

2023 ජූනි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ACJU අතර සිදු වූ අතිශය පෞද්ගලික, සුවිශේෂී සාකච්ඡා මගින් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ මෑතකාලීන හදවත සහ මනස වෙනස් කිරීම පහසු වී ඇති බව පෙනේ.

මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ MMDA ප්‍රතිසංස්කරණ සඳහා දශක ගණනාවක උත්සාහයන් නොසලකා හරියි.

ඉස්ලාමීය විද්වතුන්, නීති විශාරදයින් සහ ප්‍රජාවේ අදාළ සාමාජිකයින් විසින් දශක ගණනාවක් තිස්සේ MMDA පිළිබඳ පර්යේෂණ, උපදේශන සහ වාද විවාද මත ගොඩනැගෙමින්, 2021 ජුනි උපදේශක කමිටුව (ACJU ඇතුළුව විද්වතුන් සහ නීතිඥයින් සහ ඉස්ලාමීය විද්වතුන්ගෙන් සමන්විත) වාර්තාවක් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාව ෂරියා සහ ඉස්ලාමීය නීති විද්‍යාව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි වර්තමාන ස්වරූපයෙන් MMDAහි ලේඛනගත කර ඇති හානිකර බලපෑම්වලට අනුකූල වන සංශෝධන සඳහා යෝජනා ගෙනහැර දක්වා ඇත.

MPLRAG ක්‍රියාකාරීත්වය කමිටු වාර්තාවේ සියලුම නිර්දේශ සමඟ එකඟ නොවන නමුත්, මෙය ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන නීත්‍යානුකූල, සමාජීය සහ ආගමික වශයෙන් පිළිගත හැකි එකඟත්වයක් නියෝජනය කරන බව අපි පිළිගනිමු.

මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද අතිශය ගතානුගතික සහ වෙනස් කොට සැලකීමේ ආස්ථානයන්, MMDA යටතේ සිදු වී ඇති බරපතල හා හානිකර අසාධාරණයන් හෙළිදරව් කිරීම සඳහා දරුණුතම කොන්දේසි යටතේ වැඩ කරන කාන්තා ක්‍රියාකාරීන්ගේ දශක ගනනාවක වැඩ අඩාල කරයි. එය වසර 60කට වැඩි කාලයක් පුරා විහිදුනු රජය විසින් පත් කරන ලද විද්වත් කමිටු හයේ වැඩකටයුතු ද නොසැලකිලිමත් ලෙස බැහැර කරයි. මුස්ලිම් පුරවැසියන්ගේ සමීප ජීවිතයට බලපාන සැබෑ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම යනු මුස්ලිම් ප්‍රජාවන්ගේ යහපැවැත්මට වඩා පටු දේශපාලන ආත්මාර්ථකාමීත්වය පිළිබිඹු කිරීමකි. විශේෂයෙන්ම තවමත් සහන බලාපොරොත්තුවෙන් සිටින වඩාත් පීඩාවට පත් වූ සහ අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් එය මන්ත්‍රීවරුන් දරන නියෝජිත වගකීමට කරන හානියකි.

මුස්ලිම් ප්‍රජාවන් තුළ බිය ඇති කිරීම 

මෑත කාලීන පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවන්ගේ අනන්‍යතාවය හෑල්ලු වන බව ප්‍රකාශ කිරීම වැනි ලාභ බිය ගැන්වීමේ උපක්‍රම සමහර මන්ත්‍රීවරුන් විසින් අනුගමනය කරනු ලැබේ. 2021 උපදේශක කමිටුව පදනම් කරගත් සංශෝධන පනත් කෙටුම්පතෙන් ‘මුස්ලිම්’ යන වචනය ඉවත් කර ඒ වෙනුවට “ඉස්ලාම් යැයි පිළිගන්නා පුද්ගලයන්” යන වචන ඇතුළත් කර ඇති බවට වන චෝදනාව මේ සඳහා සාක්ෂි ලෙස හුවා දක්වනු ලැබේ – එහෙත් “ඉස්ලාම් යැයි පිළිගන්නා සියලු දෙනා” යන්නෙන් මුස්ලිම්වරුන් අර්ථ දැක් වේ. 

ඇත්ත වශයෙන්ම, ACJU හි නියෝජිතයින් දෙදෙනෙකු වන අෂ් ෂෙයික් එම් අයි එම් රිස්වි මුෆ්ති සහ අෂ් ෂෙයික් එම් එම් අහමඩ් මුබාරක් මෙන්ම ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විසංවාදී ස්ථාවරයන් ගෙන සිටි තවත් කිහිප දෙනෙක්, 2018 විනිසුරු මර්සූෆ් කමිටු වාර්තාවේ භාෂාව භාවිතා කිරීමට ඒකමතිකව එකඟ වූහ. එය ඉස්ලාම් ආගම අවධාරණය කරන නිසාත්, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ගැන සඳහන් කරන අනෙකුත් නීතිවලට අනුකූල වන නිසාත් එය මුස්ලිම් ජාතිකයා කවුරුන්ද යන්න පිළිබඳ නීතිමය නිර්වචනයට අනුකූල වේ.

ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ඉස්ලාමීය නොවන ලෙස හෑල්ලූ කිරීමේ සාමූහික උත්සාහයක් ඇත. මුස්ලිම් පවුල් සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා විස්තීර්ණ MMDA ප්‍රතිසංස්කරණවල දිගුකාලීන අවශ්‍යතාවය පිළිබඳ මහජන කතිකාවත, බිය ගැන්වීමේ උපක්‍රම භාවිතා කරමින් හිතාමතාම මුස්ලිම් විරෝධී සහ ප්‍රතිසංස්කරණ විරෝධී හැඟීම් උද්දීපනය කරමින් නොමඟ යැවීම ඉතා කණගාටුදායකය.

ඉදිරි මඟ 

අත්සන් කළ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් අපි පහත දෑ ඉල්ලා සිටිමු.

– MMDA ප්‍රතිසංස්කරණයේ පසුගාමී ආස්ථානයන් විසින් ඇති කරන දිගුකාලීන හානිය හඳුනා ගැනීම;

මෙම පසුගාමී යෝජනාවලට සහය දැක්වීමට ඔවුන්ගේ තීරණය නැවත සමාලෝචනය කර ආපසු හැරවීම; සහ

පීඩාවට පත් මුස්ලිම් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වීම.

මේ රටේ බහුවිධ සමාජය තුළ ධනාත්මක මුස්ලිම් අනන්‍යතාවයක් ගොඩනැගීමේ පුළුල් අවශ්‍යතා නියෝජනය කරන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ සැබෑ ඉස්ලාමීය සාරධර්ම ආරක්ෂා කරන ලෙසත් අපි මන්ත්‍රීවරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

අපි අධිකරණ ඇමතිවරයාගෙන් පහත දෑ ඉල්ලා සිටිමු;

මෙතෙක් අනුගමනය කර ඇති ප්‍රතිසංස්කරණ නීති සම්පාදන ක්‍රියාවලිය කේන්ද්‍රගත කිරීම සහ ගොඩ නැගීම මෙන්ම එකී ප්‍රයත්නයන් අයාලේ යාමට ඉඩ නොදීම;

මුස්ලිම් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ජීවිත කෙරෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යාම; සහ

– MMDA ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තාවන් දශක ගනනාවක් තිස්සේ කරන උද්දේශනය පාවා දෙන බැවින් සියලුම පිරිමි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ අශෝභන යෝජනාවලට එකඟ වීමෙන් වැළකී සිටීම.

2023 ජුලි 8 නිර්දේශ මගින් පිලිබිඹු කරන ලද, රාජ්‍ය නිලතලවල සිටින අයගේ වගකීම් නොමැතිකම, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඩාල කිරීම සඳහා මෙම යෝජනා මෙහෙයවන පටු දේශපාලන ආත්මාර්ථකාමීත්වයේ යටි අරමුණු, වගවීම නොමැතිකම සහ නියමිත ක්‍රියාවලියේ අසාර්ථකත්වය අපි හෙළා දකිමු.

MMDA සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ සිදු නොකළහොත්, මෙම පනත ගෝලීය වශයෙන් වඩාත්ම වෙනස් කොට සැලකීමේ සහ පසුගාමී මුස්ලිම් පවුල් නීතිය ලෙස පවතිනු ඇත. මුස්ලිම් බහුතරයක් සහ සුළුතරයක් සිටින රටවල කාන්තාවන් සඳහා ඔවුන්ගේ අදාළ නීති සම්පාදනය තුළ සැලකිය යුතු ලෙස වඩා හොඳ සහ සාධාරණ විධිවිධාන ඇත.

2023 ජුලි 8 වන දින මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් කරන ලද නිර්දේශ මුස්ලිම් කාන්තාවන් සහ ගැහැණු ළමයින් පාවාදීමකි. එය ශ්‍රී ලංකාවේ සියලුම ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාවන්ට වෙනස් කොට සැලකීම, යුක්තිය සහ අභිමානය අත්කර ගැනීම වැළැක්වීමට හිතාමතාම දරන උත්සාහයකි. MMDA පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතුය; එය එකම ඉදිරි මාර්ගයයි.

* පසුසටහන – ගරු. කබීර් හෂීම් මන්ත්‍රීවරයා 2023 ජූලි 15 වැනි දින MPLRAG වෙත දන්වා සිටියේ අන්තර්ගතය තමාගේ ආශ්ටානයට නොගැලපෙන බව දැනගත් පසු මෙම ලිපියෙන් තම අත්සන ඉවත් කර / කපා ඉවත් කළ බවයි.