ප්‍රකාශය: MMDA සම්බන්ධ වැදගත් ප්‍රතිසංස්කරණ පිලිබඳ ප්‍රගතිශීලී කැබිනට් අමාත්‍ය තීරණ සාදරයෙන් පිළිගනිමු

  • මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදය (MWRAF) සහ මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම (MPLRAG)

මුස්ලිම් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ උපදේශක කමිටුව 2020 ජුනි 21 දින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ අමාත්‍ය එම්.එම්. අලි සබ්රි වෙත ඉදිරිපත් කර ඇති බවට වන පුවත අපි සාදරයෙන් පිළිගනිමු. ප්‍රතිසංස්කරණවල විනිවිදභාවය සහ ඒවායේ කාල රාමුව වර්තමානයේ දී අතිශයින්ම වැදගත් වන අතර, විරුද්ධවාදීන් විසින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඩැහැ ගැනීමෙන් සහ වැරදි පැතිවලට හැරවීමෙන් ආරක්ෂා කර ගැනීම කඩිනම් අවශ්‍යතාවක් වෙන බවත්, එය දැනටම සිදුවීම පටන් ගෙන ඇති බවත් අපි සටහන් කරමු.

ප්‍රතිසංස්කරණ නිර්දේශයන් සහිත වාර්තාව ප්‍රමාදයකින් තොරව නිකුත් කරන ලෙසත්, විශේෂයෙන් වැඩි බලපෑමට ලක්වූවන් තුළ ඉදිරි ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසයක් ඇති කරන ලෙසත්, අපි අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.

MMDA ප්‍රධාන ගැටළු හතර ගැන කැබිනට් තීරණ පිළිබඳව:

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සම්බන්ධ ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ අපි අනුමත කරමු: ඒවා නම් 1) විවාහයට අවම වයස අවුරුදු 18 දක්වා ව්‍යතිරේකයකින් තොරව ඉහළ නැංවීම, 2) විවාහයක් නිල වශයෙන් වලංගු වීම සඳහා මනාලියගේ කැමැත්ත සහ අත්සන අවශ්‍ය වීම, 3) කාන්තාවන්ට කාති විනිශ්චයකරුවන් වීමට අවස්ථාව ලබා දීම සහ 4) බහු විවාහය අහෝසි කිරීම යි. 

මේවා සියලු දෙනා එක් වී ගත්, සාමූහික තීරණ නොවේ යැයි කියමින්, මෙම කැබිනට් තීන්දු වලට විරුද්ධ වෙන බවට වාර්තා වන පිරිසට අප මතක් කරන්නේ, අවම විවාහ වයස, මනාලියන්ගේ කැමැත්ත සහ කාන්තාවන් කාති විනිසුරන් ලෙස පිළිගැනීම පිළිබඳ ස්ථාවරයන් 2019 දී මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් විසින් සාකච්ඡා කොට තීරණය කරන ලද බවයි. දශක හයකට අධික කාලයක් තිස්සේ මෙම ප්‍රතිසංස්කරණ බහුවිධ කමිටු විසින්, රැස්වීම් කිහිපයකදී සාකච්ඡා කර ඇති අතර, විවිධ ආණ්ඩු යටතේ මේවා ඉදිරිපත් වී ඇත. මේවා ගැන ‘ඒකමතික එකඟතාවයක්’ කිසිවිටක නොතිබූ අතර, අනාගතයේ ඇති වන්නේ ද නැත; ප්‍රතිසංස්කරණ වළකා වෙනතකට යොමු කිරීමට සහ මුස්ලිම් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට යුක්තිය ප්‍රතික්ෂේප කිරීමට මෙම කරුණ භාවිතා වී තිබේ. MMDA පනතේ වෙනස් කොට සලකන විධිවිධාන යටතේ වැඩිපුරම පීඩාවට පත් වී සිටින මුස්ලිම් කාන්තාවන් අදාළ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පිරිමි-නායකත්වයෙන් යුතුව සිදු කළ සංවාදවලින් වරින් වර, හිතාමතාම බැහැර කර තිබේ. ACJU වැනි කණ්ඩායම් කිසි විටෙකත් මුස්ලිම් කාන්තාවන් ඇතුළත් කර නොගත් අතර, MMDA ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන්ගේ ප්‍රවේශය තුළ ද මුස්ලිම් කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ සමකාලීන අරගලයන් කේන්ද්‍රගත කර ගෙන නැත.

ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයේ දී ප්‍රධාන අංගයක් වන්නේ රාජ්‍ය වගකීමයි. මෙම යෝජිත ප්‍රතිසංස්කරණ මුස්ලිම් කාන්තා කණ්ඩායම් විසින් MMDA ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දිගු කාලීනව කරන ලද ඉල්ලීම්වල කොටසක් වන අතර, ඒවා මුස්ලිම් පවුල්වල ජීවන යථාර්ථයන් සහ දුෂ්කරතා මත සෘජුවම පදනම් වී ඇත. මෙම තීරණ තුළින් ජනතා අදහස් සැලකිල්ලට ගෙන කටයුතු කිරීමේ රාජ්‍ය වගකීම ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්නුම් කරයි. මෙම තීරණ සතර අපි මුළු හදින්ම පිළිගන්නා අතර, මෙම තීරණ විසින් කාන්තාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම හෝ බැහැර කිරීම සිදු නොවන බවට සහතික කරනු ඇතැයි අවධාරණය කරමු.

කාති ක්‍රමය පිළිබඳ කැබිනට් තීරණය සම්බන්ධයෙන්:

මුස්ලිම් කාන්තාවන්ගේ ජීවන අත්දැකීම් මගින් කාති ක්‍රමයේ ඇති බරපතල ගැටලු අනාවරණය වන අතර, කාන්තාවන්ට සාධාරණ ලෙස සැලකීම ප්‍රතික්ෂේප කර, බහුවිධ ආකාරවල වෙනස්කොට සැලකීමට භාජනය කර තිබේ. මුස්ලිම් කාන්තාවන්ට යුක්තිය සඳහා සමාන හා සාධාරණ ප්‍රවේශයක් තිබිය යුතු යැයි අපි නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කර ඇත. කාති ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ගැන අපි සැලකිලිමත් වෙන අතර, එය වෙනුවට ඇති කරන ක්‍රමය කුමක් ද යන්න පිළිබඳ තොරතුරු මෙතෙක් ලබා දී නැත. MMDA පරිපාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව වහා පැහැදිලි කිරීමක් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.  දිස්ත්‍රික් උසාවියේ පවතින වර්තමාන ක්‍රමය තුළ ප්‍රවේශය හා ප්‍රමාදයන් සම්බන්ධයෙන් සැලකිය යුතු අභියෝග ඇති බවත්, එය පවුල් හිතකාමී නොවන බවත් අපි හොඳින් දනිමු. කාති ක්‍රමයට සමානව එයට ද සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව අපි තේරුම් ගෙන සිටිමු.

MMDA පරිපාලනය කරන ඕනෑම අධිකරණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ පොදුවේ පවුල්වලට දැනට ලබා දී ඇති ක්‍රමයට වඩා හොඳ පද්ධතියක් විය යුතුය යන ස්ථාවරය අපි තදින් හා මුළු හදවතින්ම දරමු. මෙයින් අදහස් වෙන්නේ එයට පැහැදිලි, සමාන හා ප්‍රතිපාක්ෂික-නොවන ක්‍රියා පටිපාටි, නඩු සඳහා කාර්යක්ෂම කාලරාමු, වැඩිදියුණු කළ හැකි ප්‍රවේශ්‍යතාව සහ දැරිය හැකි පිරිවැය විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා තිබිය යුතු බවයි.

පරිපූර්ණ MMDA ප්‍රතිසංස්කරණ බොහෝ කල් ගත වී, ප්‍රමාද වී ඇත. ප්‍රතිසංස්කරණ සඳහා නීත්‍යනුකූල ක්‍රියාදාමයන් සිදු වෙන තෙක් බලා සිටීම යන්නෙන් අදහස් වෙන්නේ මුස්ලිම් කාන්තාවන් දිගින් දිගටම දුෂ්කරතා, අගතීන් සහ වෙනස්කම් කොට සැලකීම් අත්විඳිය යුතු බවයි. ප්‍රතිසංස්කරණ පැමිණෙන තෙක් අපි පටු දේශපාලන අභිමතාර්ථ හා දුර නොදකින ගතානුගතික අදහස් සමඟ සටන් කරන්නෙමු. මුස්ලිම් කාන්තාවන්ට යුක්තිය සහ සමානාත්මතාවයට දැන් කාලය එළඹ තිබේ.