#LetHerSign ව්‍යාපාරය ගැන

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) යටතේ මුස්ලිම් කාන්තාවන්ට තමන්ගේ විවාහ ලියකියවිලිවලට එනම් විවාහ ප්‍රකාශන පෝරමයට සහ විවාහ ලියාපදිංචි ලේඛනයට අත්සන් කිරීම වලක්වා ඇත. #LetHerSign යනු ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන්ට තම හැකියාවෙන් හා නිදහස් කැමැත්තෙන් විවාහ වීමට පූර්ණ ස්වාධීනත්වයක් ලබා ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින මුස්ලිම්-කාන්තා නායකත්වයෙන් යුත් ව්‍යාපාරයකි.

මෙම ව්‍යාපාරය තුළින් MMDA යටතේ අපගේ ජීවිතයේ වැදගත්ම ලියකියවිලි කිහිපයකට අත්සන් කිරීමට ඉඩ නොලැබීමේ සිට, අසාධාරණ සහ අයුක්ති සහගත දික්කසාද ක්‍රියා පටිපාටි දක්වා විවාහයේ සෑම පැතිකඩකදීම අප අසමාන පුරවැසියන් ලෙස සලකනු ලබන ආකාරය ඉස්මතු කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු. මෙම ව්‍යාපාරය ඇති වෙන්නේ MMDA ප්‍රතිසංස්කරණයේ දී සිදු වූ ප්‍රමාදය සහ ලබා දුන් පොරොන්දු කඩ කිරීම හේතුවෙන් තරුණ පරම්පරාවේ මුස්ලිම් ගැහැණුන් සහ පිරිමින් අතර ඇති දිනෙන් දින වැඩි වෙන කලකිරීම්වල ප්‍රතිඵලයක් ලෙසය. 

වහාම මෙම අවුරුද්ද තුළ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) පරිපූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර, විවාහයට භෞතිකව කැමැත්ත කිරීමට ඇති මූලික ඉස්ලාමීය සහ මූලික මානව අයිතිවාසිකම් ලබා දීමත්, විවාහය සහ පවුල් නීතිය තුළ සම්පූර්ණ ස්වාධීනත්වයත්, තීරණ ගැනීමත් සහතික කරන ලෙස අපි ඉල්ලා සිටිමු!

මෙම ව්‍යාපාරය ආරම්භ කළේ මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම (MPLRAG) ය.

මෙය වැදගත් වෙන්නේ ඇයි? 

අද දවසේ ශ්‍රී ලාංකීය මුස්ලිම් කාන්තාවන් මුහුණ දෙන වෙනස් කොට සැලකීමේ උච්ච ස්වභාවයත්, එහි විකාර සහගත බවත් යන දෙකම කෙනෙකුට තමන්ගේ විවාහ ලේඛනයට අත්සන් කිරීමට පවා නොහැකි වීම යන්නෙන් නියෝජනය කරයි. මෙම අසාධාරණය නිවැරදි කිරීමට ප්‍රමාද වීම ගැන සමාවක් දිය නොහැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ මුස්ලිම් කාන්තාවන් බලහත්කාරයෙන් විවාහ කර දීමත්, රැවටීමට ලක් කිරීමත් සිදු වී ඇති අතර, ලේඛන ගත කළ ජීවන අත්දැකීම් සාක්ෂි දරන පරිදි ඔවුන්ගේ අනුදැනුමක් නැතිව පවා, ඔවුන් විවාහ කර “පිටත් කර” ඇත. තමන් විවාහ වෙන්නේ කා සමග දැයි, කොයි කාලයේ දැයි ආදී ජීවන තීරණ සම්බන්ධයෙන් ඔවුනට තිබිය යුතු ස්වාධීනත්වය බින්දුවටම වැටී තිබේ. මෙය අසාර්ථක විවාහ සබඳතාවලටත්, විවාහයේ සම්බන්ධතා තුළ අසමාන බලය පැවැතීම සහ ගෞරවය නොමැති වීමටත්, විවාහ තුළ ප්‍රචණ්ඩත්වය වැඩි වීමටත් දායක වී තිබේ. හනෆි නීති විද්‍යා ගුරුකුලයේ සහ බෝරා නිකායේ අනුගාමිකයින් විසින් හනෆි හෝ බෝරා ලෙස හඳුනා ගන්නා මුස්ලිම් කාන්තාවන්ට සංකේතාත්මක විවාහ ලියවිල්ලකට අත්සන් කිරීමට අවසර දෙන භාවිතාවක් දිගු කාලයක් තිස්සේ තිබෙන නමුත්, එහිදී ද නිල පෝර්මයේ මනාලියට අත්සන් කිරීමට ඉඩක් තබා නැත. අත්සන් කිරීම ප්‍රායෝගිකව සිදු වෙන විට පවා, එය බොහෝ විට තීරණය වන්නේ විවාහ රෙජිස්ට්‍රාර්ගේ අභිමතය මත ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන්ගෙන් බහුතරයකට අත්සන් කිරීම තෝරාගත නොහැකි අතර, ඔවුන්ගේ නිකා (විවාහ) උත්සවයට පවා භෞතිකව පැමිණීම පවා අවශ්‍ය නොවේ.

දැන්ම මෙය අවශ්‍ය ඇයි? 

ශ්‍රී ලාංකීය මුස්ලිම් කාන්තාවන් පසුගිය අවුරුදු 60 තිස්සේ ප්‍රතිසංස්කරණයක් බලාපොරොත්තුවෙන් සිටින අතර තවදුරටත් වෙනස්කම් කිරීමට ලක්වීම ඔවුන් නොඉවසනු ඇත!  MMDA ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වරින් වර අමාත්‍යවරුන්, අධිකරණ අමාත්‍යවරුන් සහ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වරින් වර පොරොන්දු ලබා දී ඇති නමුත්, මෙම ප්‍රතිසංස්කරණ කවදා සිදු වන්නේ දැයි හෝ කිසිසේත්ම සිදු වේද නැද්ද යන්න පිළිබඳව මහජනතාව කිසිවක් දන්නේ නැත.ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ජීවන දුෂ්කරතා, ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කම් පිළිබඳ ජීවන අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවී ඇති අතර, COVID-19 වසංගතය හේතුවෙන් මෙම සිදුවීම් තවදුරටත් ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රතිසංස්කරණය ප්‍රජා අයිතිවාසිකම් පිළිබඳ හෝ ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් දේශපාලනිකව බියගැන්නවීම ගැන ඇති අපහැදිලි කාරණාවන් නොවේ. එය මුස්ලිම් කාන්තාවන්ගේ සමානාත්මතාවය සහ යුක්තිය සහ මුස්ලිම් පවුල්වල යහපැවැත්ම පිළිබඳව ය.

ඔබට සම්බන්ධ විය හැක්කේ කෙසේද? 

මුස්ලිම් කාන්තාවන්ට එරෙහි දිගු කලක් තිස්සේ පවතින මෙම අසාධාරණයට හා වෙනස් කොට සැලකීමට එරෙහිව හඬ නැගීමටත්, MMDA ප්‍රතිසංස්කරණය තවදුරටත් ප්‍රමාද නොකර සිදු කරන්නැයි ඉල්ලා සිටින ලෙසත් #LetHerSign ව්‍යාපාරය සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් දිරිමත් කරයි!

ඔබට සම්බන්ධ විය හැකි ආකාර කිහිපයක් මෙන්න:

 හඬ නගන්නෙක් වෙන්න! 

  • ඔබේ අදහස් සහ අත්දැකීම් ගැන ලියන්න, කලා නිර්මාණ සිදු කර ට්විටර්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ වෙනත් වේදිකාවල #LetHerSign හෑෂ්ටැගය සමග ෂෙයාර් කරන්න. පටන් ගැනීමට ප්‍රශ්න කිහිපයක් පහතින්: 
    • මුස්ලිම් කාන්තාවන්ට තමන්ගේ විවාහ ලේඛනයට අත්සන් කළ නොහැකි වීම ගැන ඔබට දැනෙන්නේ කොහොමද?
    • මුස්ලිම් කාන්තාවන්ට විවාහයට අත්සන් කිරීම වැදගත් වන්නේ ඇයි?
    • අවශ්‍ය වෙනස කුමක්ද?

ඔබ කැමති නම්, ඔබේ විවාහ ලියකියවිලි අත්සන් කිරීමට ඔබට නොහැකි වීම හෝ අත්සන් කිරීමට වුවමනා වීම පිළිබඳ ඔබේ පෞද්ගලික කතා හෝ අත්දැකීම් බෙදා ගන්න. ඔබේ හඬ සහ අත්දැකීම් වැදගත්ය!

ප්‍රතිඵල දෙගුණ තෙගුණ කිරීමට ඔබත් එකතු වෙන්න 

  • මුස්ලිම් කාන්තාවන්ගේ #LetHerSign ව්‍යාපාරයේ මූලික පණිවුඩ ඔබේ මිතුරන් හා සගයන් සමග ෂෙයාර් කරන්න, ප්‍රවර්ධනය කරන්න සහ සාකච්ඡා කරන්න. ඒ තුළින් MMDA පනත ප්‍රතිසංස්කරණය සඳහා හඬ නගන්න.  
  • ඔබ ජනමාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් හෝ කලාකරුවෙක් නම් – මේ ව්‍යාපාරය ගැන බ්ලොග් පෝස්ටු, මාධ්‍ය ලිපි, සමාජ මාධ්‍ය පෝස්ටු ලියා, #MMDAප්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාවය ඉස්මතු කරන්න. 
  • ඔබේ මිතුරන් සහ පවුලේ කණ්ඩායම් අතර සංවාද පටන් ගෙන ඒවා පවත්වාගෙන යාමට දායකත්වය දෙන්න —හෝ ප්‍රාදේශීය පල්ලි සහ ආගමික අවකාශ තුළ පවා— මේ ව්‍යාපාරය ගැන සහ තමන්ගේ විවාහ ලේඛනවල අත්සන් කිරීමට ඉඩ නොදීම අවසන් කිරීම මුස්ලිම් කාන්තාවන්ට අවශ්‍ය වන්නේ ඇයිදැයි කතා කරන්න.  

MMDA ප්‍රතිසංස්කරණ සහ ව්‍යාපාරය ගැන වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ වෙන්න: 

වෙබ්අඩවිය: www.mplreforms.com

ෆේස්බුක්: @mplreformslk

ට්විටර්: @mplreforms

ඉන්ස්ටග්‍රෑම්: @mplreforms 

ඊමේල්: mplreforms@gmail.com